Sunday, August 11, 2013

රතුපස්වල,කටුනායක,හලාවත,ආසනික් හා ඩී.සී.ඩී.

මේ දිනවල වඩාත් කතාබහට ලක්වන සිද්දීන් දෙකක් වී ඇත්තේ රතුපස්වල ජල ගැටලුව හා ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදනවල ඩී.සී.ඩී.(Dicyandiamide) නම් විෂ රසායනිකය අඩංගු බවට පැතිර යන පුවත්ය.මේ සිද්දීන්ගේ විශේෂත්වය වන්නේද මාධ්‍ය මගින් මේ සිද්දීන්ට ලබාදෙන ප්‍රචාරයද අවම මට්ටමක පැවතීමයි.ඒ නිසාම මෙම සිද්දීන් පිලිබදව විශේෂයෙන් හොයා බැලීම වටින්නේය.
පළමුව වැලිවේරිය සිද්දිය සලකා බලමු.මෙහිදී සාමාන්‍ය ජනතාව විසින් සිදුකල උද්ඝෝෂණයකට හමුදාව විසින් ජීව උන්ඩ යොදාගෙන වෙඩි තබා ඇත.වෙඩි වැදීමෙන් තිදෙනෙකුට ජීවිත අහිමි වූ අතර විශාල පිරිසකට තුවාල සිදු විය.මිය ගිය තිදෙනාගෙන් එක් අයෙකු සේවය නිමවා නිවස බලා යමින් සිටි ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් දෙදෙනා උපකාරක පන්ති නිමවා නිවස බල යමින් සිටි සිසුන් දෙදෙනෙකි.පුදුම සිදුවීම නම් හමුදා මාධ්‍ය ප්‍රකාෂකවරයාට අනුව මොවුන්ගෙන් බහුතරය තුවාලවී හා මියගොස් ඇත්තේ ගල් පහරවල් වලට ලක්වීම නිසාය.ඒ අනුව වැලිවේරිය පැත්තේ ජනතාවට ගල් ගැසීම පිළිබඳව අරුම පුදුම හැකියාවක් ඇත.මන්ද ඔවුන්ගේ ගල් පහරවල් වලින් මිනිස් ශරීර පවා හිල් වන බැවිනි.
ඇතැම් සති අන්ත පුවත්පත් වාර්තා කල පරිදි මෙහිදී සිද්දිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද හමුදාව අමානුෂික ලෙස පහරදී ඔවුන්ගේ කැමරා ආම්පන්න ආදියද විනාශ කොට ඇත.හමුදාවට මෙලෙස ක්‍රියාකිරීමට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න තවමත් සැකසහිතය.අවසානයේදී කෙදිනක හෝ මේ සිදුවීම් වලට දඩුවම් විදීමට සිදුවන්නේ ඉහල නිලධාරින්ට නොව පහල නිලධාරින්ට හා සාමාන්‍ය සෙබලුන්ටය.මේ පිළිබඳව අතීතයෙන් ඕනෑතරම් උදාහරණ ගෙනහැර දැක්විය හැක.
රතුපස්වල ජනතාව වැලිවේරියේදී හා බැලුම්මහරේදී උද්ඝෝෂණය කලේ  වැඩි පඩි ඉල්ලා හෝ බඩු මිල අඩු කර දෙන්නට කියා නොව තමන්ට බීමට පිරිසිදු ජලය ඉල්ලාය.අරුම පුදුම සිදුවීම වන්නේ උගන්ඩාවේ ජල ව්‍යාපෘතියකට ඩොලර් මිලියන 150 ක් ප්‍රදානය කල රජය තම රටේ ගමක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජලය ඉල්ලු විට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දීමයි.
මීට ආසන්න කාලයකදීද මෙවන් සිදුවීම් දෙකක් වාර්තා විය.ඒවා නම් පෞද්ගලික විශ්‍රාම වැටුපට එරෙහිව කටුනායකදී කල උද්ඝෝෂණයේදී තරුණයෙකු මියයාම හා හලාවතදී වැඩි කල ඉන්ධන මිලට එරෙහිව කල උද්ඝෝෂණයේදී දෙදරු පියෙකු මියයාමයි. මෙම සිදුවීම් දෙකම අපේ රටේ ජනතාවට බොහෝ දුරට අමතක වී ගොසින් ඇත.වැලිවේරිය සිදුවීමද තව දින කිහිපයකදී අපේ ජනතාවට සම්පූර්නයෙන්ම අමතකවනවාට කිසිදු සැකයක් නැත.නමුත් ගැටලුව වන්නේ දෙමල ජාතික සන්ධානය වැනි ඇතැම් කොටස් මෙවන් සිදුවීම් ජාත්‍යන්තරයට ගෙන ගොස් වාසි ලබාගැනීමට දැනටමත් කටයුතු කර තිබීමයි.ඒ නිසා මෙවන් අවස්ථාවල කටයුතු කිරීමේදී රජය මීට වඩා විමසිලිමත්වනවා නම් වටින්නේය.
මේ දිනවල කතාබහට ලක්වන අනෙක් සිදුවීම නම් ඇන්කර් කිරි පිටි ඇතුළු ෆොන්ටෙරා නිෂ්පාදනවල Dicyandiamide නම් විෂ රසායනිකය අඩංගු බවයි. මේ නිසා මෙම නිෂ්පාදන ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර වරාය තුල මෙට්‍රික් ටොන් 4500ක පමණ තොගයක් රදවා තබාගෙන ඇත.ඊට අමතරව මෙම නිෂ්පාදන වලට අදාලව සියලුම ප්‍රචාරක කටයුතු තහනම් කර ඇත.එහෙත් වෙලදපොලට නිකුත් කර ඇති මෙම නිෂ්පාදන තවමත් අලෙවි කෙරෙමින් පවතී.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ තාක්ෂණික පර්යේෂණ ආයතනය (ITI) මෙම සිදුවීම තහවුරු කර තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් ඉහල නිලධාරීන් රටට විහිලු සපයමින් සිටි.ඔවුන්ට ප්‍රකාශ කර සිටින්නේ මෙම රසායනිකයට අදාලව පරීක්ෂණ කිරීමට ITI ආයතනය සතුව තාක්ෂණය හා පහසුකම් නැති බවයි.නමුත් ITI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ ඔවුනට මෙයට වඩා සංකීර්ණ පර්යේෂණ කටයුතු පවා කල හැකි බවයි.අනෙක් අතට ලොකුම විහිලුව වන්නේ මෙම නිෂ්පාදන අප රටට ආනයනය කරන නවසීලන්තය තුල පවා මේවා අලෙවිය තහනම් කොට තිබියදී අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයට තවත් පර්යේෂණකිරීමට අවශ්‍ය වීමයි.
මීට කලකට ඉහතදීද රජරට වකුගඩු රෝගය පදනම් කරගෙන මෙවැනිම සිදුවීමක් ඇතිවිය.එහිදී ආනයනික කෘෂි රසායනිකවල ආසනික්‌ හා කැඩ්මියම් වැනි බැර ලෝහ අඩංගු බවට චෝදනාවක් එල්ල විය.මෙලෙසටම එහිදී ආනයනය කල රසායනික තොගයක් වරායේ රඳවාගත් අතර රට තුල අලෙවියද තහනම් කළේය.මේ චෝදනාව පසුව පර්යේෂණවලින් තහවුරු විය.ඉන් පසු කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මේ පිළිබඳව විවිධ කතාබහ ඇතිවූ අතර පසුව සියලු කතාවන් යටපත් වී කෘෂිරසායන තොගය නිදහස් කොට නැවත අලෙවියටද අවසර ලැබිණි.
මෙම කිරි පිටි සිද්දියටද ඉදිරියේදී මෙවන් දෙයක් සිදු වුවහොත් අප පුදුම විය යුතු නැත.මන්ද එය මේ රටේ වැඩ කටයුතු සිදුවන ආකාරය නිසාය.අනෙක් අතට ලෝකයේ පිරිසිදුම ඇපටයිට් වර්ගයක් වන එප්පාවල ඇපටයිට් අපනයනය කොට ඊට නොයෙකුත් බැර ලෝහ කලවම් කොට ආනයනය කර භාවිතයට ගන්නා  ජාතියකට පිට රටින් ගෙන්වන ඕනෑම ජරාවක් කිසිඳු  ගැටලුවකින් තොරව අලෙවි කල හැකි වීම නිසා ව්‍යපරිකයන්ටද හොදින් හරි හම්බ කල හැක.මට හිතෙන හැටියටනම් ආශ්චර්යය දැනටම පහල වී ඇත.මෙය ආසියාවේ ආශ්චර්යය නොව මුළු විශ්වයටම ආශ්චර්යයකි.